මේ ලියාපදිංචිය සම්බන්ධ නිර්නායකය කුමක් ද? මාර්තු 30 වැනි දා ජනමාධ්‍ය අමාත්‍යාංශය කී පරිදි "ශ්‍රී ලංකාව හා එහි පුරවැසියන් පිලිබඳ ප්‍රවෘත්ති පල කරන" වෙබ් අඩවි එම අමාත්‍යාංශයේ ලියාපදිංචි කල යුතු යි. ලියාපදිංචියේ දී අමාත්‍යාංශයට ලබා දිය යුතු තොරතුරු අතර වෙබ් අඩෙවියේ නම, එය මෙහෙයවනු ලබන්නේ කොතැනක සිට ද, හිමිකරුගේ නම හා ලිපිනය, සංස්කාරකගේ නම හා ලිපිනය, සර්වරයේ නම, අයිපී ලිපිනය සහ සේවයේ නියුතු මාධ්‍යවේදීන් පිලිබඳ විස්තර ද ඇතුලත්. මේ ගැටලුව අරභයා ඇවිලුනු සාකච්ඡාව සිංහල විකිපීඩියාව වෙත ද පැතිර ගිය අතර එහි දී විකිපීඩියාවේ මුල් පිටුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් පල කිරීම නවතාදැමිය යුතු ද යන්න සාකච්ඡා වුනා. පුවතකින් බිඳක් විශේශාංගය යටතේ විකිපීඩියාව පුවත් පල කලත් එම වෙඩ් අඩෙවියට තියෙන්නේ ඉහත සඳහන් විස්තර සැපයිය හැකි අන්දමේ සංවිධාන ව්‍යුහයක් නෙමෙයි. විකිපීඩියාවේ වැඩි "ආරක්ශාව පිනිස" තමන් ම පනවාගත් වාරනයකට යටත් වීමට ඇතැම් විකිපීඩියානුවන් යෝජනා කරනවා. එහි දී ඉදිරිපත් ව ඇති ප්‍රධාන තර්කය වන්නේ මේ නියෝගයට අනුකූල නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුල විකිපීඩියාවට ප්‍රවේශය අවහිර කිරීමේ අවදානම නොගෙන මෙරට පිලිබඳ පුවත් පල කිරීම නැවැත්විය යුතු බව යි. සිංහල විකිපුවත් අඩෙවිය ආරම්භ කිරීම සම්බන්ධයෙනුත් මේ අර්බුදය ම තියෙනවා.
නිර්නායකයේ ගැටලු
නමුත්, ශ්‍රී ලංකාව හා එහි පුරවැසියන් පිලිබඳ පුවත් පල කරන වෙබ් අඩෙවි ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචිය යටතේ පැවතිය යුතු ය යන්න දැනට පවත්නා නීතියට අනුකූල යෝජනාවක් නෙමෙයි. උපරිමාධිකරනය එවැනි නියෝගයක් නිකුත් කර තිබීම සත්‍යයක් වුනත් වෙනත් රටවල බලපවත්නා නීතිරීති අභිබවා නියෝගයක් නිකුත් කිරීමට මෙරට අධිකරනයට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව අනිත් රටවල් යටත් කරගෙන ඉන්න අවස්ථාවක නම් එවැනි නියෝගයක් නිකුත් කරන්න පුලුවන්, හරියට අතීතයේ පැවැති හිරු නොබසින අධිරාජ්‍යය තුල වගේ. ඒත් දැනට නම් තත්වය එහෙම නෙමේ.නිදසුනක් වසයෙන් මේක බලන්න: බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය ශ්‍රී ලංකාව පිලිබඳ පුවත් ඉදිරිපත් කරනවා. රොයිටර් පුවත් සේවයත් එහෙම යි. ඔවුන්ගේ වෙබ් අඩෙවි ශ්‍රී ලංකාව තුල පිහිටා තිබෙන ඒවා නෙමෙයි. ප්‍රශ්නයේ මේ පැත්ත පෙන්වා දුන් විට "මේ නීතිය ලොකු මාධ්‍ය ආයතනවලට අදාල නෑ" වගේ අරුම පුදුම "පැහැදිලි කිරීමක්" එක්තරා බලධරයෙක් ඉදිරිපත් කල බවත් ආරංචි වුනා! හොඳයි, ඒකත් එහෙමයි කියමුකෝ. ඇත්තෙන් ම ශ්‍රී ලංකාව තුල සිට ශ්‍රී ලාංකිකයින් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩෙවි අතිබහුතරයක් පවා "පිහිටා තියෙන්නේ" ශ්‍රී ලංකාව තුල නෙමෙයි. මා පිහිටා තිබීම යන්නෙන් අදහස් කරන්නේ එම වෙබ් අඩෙවිවලට අදාල සර්වර(සේවාදායක) ශ්‍රී ලංකාවේ අධිකරන සීමාව තුල නොතිබීම යි. කිසියම් වෙබ් අඩෙවියක් භෞතික ව "ගබඩා කර තියෙන" ස්ථානය සර්වරය යි. ඒ වගේ ම ලොව වටා විවිධ තැන්වලින් අදාල වෙබ් අඩෙවිය සොයා එන පාඨකයින් අතර වෙබ් පිටු "බෙදාහරින්නේත්" සර්වරය මගින්. ඒක දෘඪාංග හා මෘදුකාංගවලින් සමන්විත භෞතික වස්තුවක් (අත්තනෝමතික සමාන කිරීමක් කලොත් හරියට පුවත්පතක මුද්‍රනාලය හා බෙදාහැරීමේ ජාලය වගේ). අඩු තරමින් රාවය, ලක්බිම වැනි ප්‍රධාන පෙලේ පුවත්පත් ආයතනවලට වත් ශ්‍රී ලංකාව තුල පිහිටි සර්වර නැති බවයි පේන්නේ. "ලියාපදිංචි විය යුතු" ගනයට වැටෙන තවත් ඇතැම් වෙබ් අඩෙවිවල ඩොමේන් නාම ශ්‍රී ලංකාවේ පරිපාලනයට යටත් නැහැ. සිංහල විකිපීඩියාව මේ අංශ දෙකෙන් ම ශ්‍රී ලංකාවේ අධිකරන බලප්‍රදේශය තුල පවතින්නක් නෙමෙයි. එහි ඩොමේනය සහ සර්වරය යන දෙක ම තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ.
මේ ලිපිය මා ශ්‍රී ලංකාවේ සිට ලිව්වත් මගේ බ්ලොග් අඩෙවිය තුල එය පල කෙරෙන මොහොත වන විට එය අන්තර්ජාලය ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයට ගමන් කොට එහි තිබෙන සර්වරයක ලැගුම් ගන්නවා. එම සර්වරය පාලනය වන්නේ ගූගල් සමාගම මගින්. රාවය හෝ ලක්බිම වැනි පුවත්පතක පල කෙරෙන ලිපියකුත් එවැනි ගමනක යෙදෙනවා. ඔවුන්ගේ සර්වර තියෙන්නෙත් ඇමෙරිකාවේ. ෆේස්බුක් බඳු ඇතැම් සමාගම් සිය කලමනාකරන කටයුතු ඇමෙරිකා එක්සත් ජනපදය තුල සිට සිදු කලත් සිය සර්වර අයිස්ලන්තය වැනි තවත් රටවල් තුල ස්ථානගත කරන්න පියවර ගනිමින් ඉන්නවා. එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ සිට ෆේස්බුක් හරහා පනිවිඩයක් හෝ වීඩියෝවක් මුදා හරින කෙනෙක් නියැලෙන්නේ එක සැනෙකින් නෛතික පැත්තෙන් රාජ්‍යයන් තුනකට පමන අදාල විය හැකි කාර්යයක. එම පනිවිඩය ලොව විවිධ තැන්වල සිට කියවන, යලි බෙදාහරින, හුවමාරු කරන පුද්ගලයින් නිසා තත්වය වඩාත් සංකීර්න වෙනවා. වෙබ් හොස්ටිං සේවා සපයන බොහෝ ආයතනත් ලොව වටා විවිධ ස්ථානවල සිය සර්වර තැන්පත් කරගෙන ඉන්නවා.
ශ්‍රේශ්ඨාධිකරනයේ නියෝගයේ පවතින ගැටලු සහගත ස්ථාන පිලිබඳ නැවත විමර්ශනයක් කිරීමේ ඉඩක් තිබේ ද යන්න මා දන්නේ නැහැ. නමුත් දැන් ක්‍රියාත්මක ලියාපදිංචිය හරියට මේ වගෙයි: මස්කෙලියේ සුමනරත්න උන්නැහේට තියෙනවා දඹදිව වන්දනා චාරිකා ව්‍යාපාරයක්. එහේ ගියාම වන්දනාකාරයින්ට කෑම බීම සපයන්න බුද්ධගයාව ආසන්නයේ ඉන්න ව්‍යාපාරික පවුලක් එක්ක වැඩපිලිවෙලක් යොදාගෙනයි ඉන්නේ. ඒ පවුලේ අය මෙහෙන් යන ලාංකිකයින්ට බත් මාලුපිනි බුලත්විට ආදියත් වන්දනාවට අවශ්‍ය අඩුවැඩියත් අලෙවි කරනවා. ඉතින් ඔහොම ඉන්නකොට කතාවක් පැතිරෙනවා මේ උදවිය වන්දනාවේ යන අයට නීති විරෝධී අන්දමට මත්පැන් ආදියත් විකුනන බවට. මත්පැන් බෝතල් එහෙමත් අහුවෙන්න පටන්ගන්නවා. ඔන්න බුද්ධ සාසන අමාත්‍යාංශයෙන් වහා ම පියවරක් ගන්න තීරනය කරනවා. ඊට පස්සෙ නියෝග කරනවා අර බුද්ධගයාව අසබඩ තියෙන ආහාරපාන ව්‍යාපාරය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කල යුතු බවට. මොකද මෙහෙන් යන වන්දනාකාරයෝ එතනින් කෑම බීම මිල දී ගන්න නිසා. නමුත් මේක හරි යන සෙල්ලමක් නොවන බව සිහි බුද්ධිය ඇති ඕනෑ ම කෙනෙකුට වැටහෙනවා.
ඉතින් බුද්ධ ශාසන අමාත්‍යාංශයට කරන්න පුලුවන් ලොකු ම වැඩේ තමයි ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සංචාරය තහනම් කිරීම! වෙනත් රටවල තියෙන ලියාපදිංචි නො වූ වෙබ් අඩෙවිවලට එරෙහි ව කල හැකි දේත් ඊට සමාන යි: මෙරට සිට ප්‍රවේශය අවහිර කිරීම.
මේ වෙබ් අඩෙවි ලියාපදිංචියට සූදානම් වුනු දිනවල ම නව ජවයකින් කෙරුනු තවත් නීති විරෝධී වැඩක් තමයි වෙබ් අඩෙවි වාරනය. හිතුමතේට උදේ එලිවෙනකොට පහල වෙන අදහස් අනුව නානාප්‍රකාර වෙබ් අඩෙවි අවහිර කිරීම තමයි වෙන්නේ. ඒ සම්බන්ධයෙන් විධිමත් අධිකරන ක්‍රියාමාර්ග ගන්නත් පෙර වෙබ් අඩෙවි අවහිර කරනවා. සමහර අවස්ථාවල ආන්ඩුවේ හිතවතෙකුගේ හුදු පැමිනිල්ලක් ඊට සෑහෙනවා. එවැනි අඩෙවියකට පිවිසෙන්න තැත් කරන කෙනෙකුට නොපැහැදිලි හේතු දැක්වීමක් සහිත දෝශ පනිවිඩයක් ලැබෙනවා: Access control configuration prevents your request from being allowed at this time. This may be due to a pending court matter. අවහිර කෙරුනු ඇතැම් අඩෙවි පසුව නැවතත් නිදහස් කර තිබූ අවස්ථාත් දකින්න ලැබුනා. ඒත් ප්‍රශ්නය තියෙන්නේ දැනට වාරනය කර තිබෙන අඩෙවි මොනවා ද, ඒවා වාරනය කරන්න හේතු වුනේ කුමක් ද, ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද යනාදිය දැනගන්න මේ රටේ පුරවැසියන්ට ඉඩක් නැති වීම තුල යි. ඊනියා ලියාපදිංචිය සම්බන්ධයෙන් තත්වයත් ඊට වෙනස් නෑ. ලියාපදිංචි වී තිබෙන අඩෙවි ගනන පවා නිවැරදි ව ප්‍රසිද්ධියට පත් නොකරන තත්වයක් පවත්වාගෙන යන්නේ අවස්ථාවාදී අන්දමින් මේ "නීතිය" ගසාකෑමේ අරමුනින් බවට චෝදනා කලොත් ඒක අසාධාරන නැහැ.
කාරනය අනිවාර්යයෙන් ම එතනින් ඔබ්බටත් රැගෙන යා යුතු යි. ඉහත දැක්වූ ආකාරයේ තර්ක පාදක කරගනිමින් ගෙන එන අන්තර්ජාල වාරනය පුලුල් අන්දමින් ගත් විට මානව සංස්කෘතියේ ප්‍රගමනයට කරන හානිය සුලුපටු නෑ. අන්තර්ජාලය සම්බන්ධයෙන් නියාමනයක් කොහෙත් ම අවශ්‍ය ද? එය ප්‍රායෝගික ව ක්‍රියාවට දැමිය හැක්කක් ද ආදී ප්‍රශ්න තව පැත්තකින් මතු වෙනවා. දැන් දැන් ඇතැම් ආන්ඩු අන්තර්ජාලයේ ස්වභාවය විසින් උද්ගත කරනු ලබන, ලිපියේ මුලින් විස්තර කෙරුනු ස්වරූපයේ ගැටලු නිසා වැනි Facebook, Google හා Twitter වැනි සමාගම්වලට සිය දේශ සීමා තුල සර්වර ස්ථාපනය කරන මෙන් ගෙන එන යෝජනාව ගැනත් අපේ අවධානය යොමු විය යුතු යි. ඊමේල් පවා මේ ක්‍රමයට දේශසීමා තුලට ගෙන ඒමට ඉන්දියාව කැසකවමින් ඉන්නවා. මේ සියල්ල ප්‍රශ්නය පිලිබඳ පුලුල් චිත්‍රයේ කොටස්.
.



සරළවම කිව්වොත් මෙතන තියෙන්නෙ මේවගේ දෙයක්.
ReplyDeleteඔන්න වෙබ්/බ්ලොග් අඩවියකින් .....බීප් බීප්.... පවුලට අදාල විවේචනයක් එනව. ඊට පස්සෙ ලොක්කට තදවෙලා මේක කාටහරි කියනව. අපි හිතමු ලේකම් කෙනෙකුට කියල. ඉතින් එයා කරන්නෙ මේ සම්බන්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් විදියට මේවගේ ලියාපදිංචි කිරීමේ යෝජනාවක් ගෙනල්ල ඒක නීතියේ රාමුවට දාල ඔළුවෙන් හිටවල ගන්න එක. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ තමන්ට සිදුවෙන හාණියක් වලක්වාගැනීමත් අදාල උදවියට රතු එලියක් පෙන්වීමත්. හැබැයි තාක්ෂණික පැත්තෙ කිසිම සෙවිල්ලක් බැලිල්ලක් කරන්නෙ නෑ. කාලයක් යනකොට මේව කාටත් අමතක වෙලා යනව. ආයෙත් අරවගේ අවස්ථාවක් මතුවුනාම නීතිපොත පෙරලනව. මේක විහිළුවක් තමයි. ඒත් මේ විදියෙ විහිළු තමයි දිගටම සිදුවෙන්නෙ.
වැදගත්ම කාරණාව තමයි මේවගේ වෙලාවක දූරදර්ශීව ක්‍රියාකරන්න ඕන අධිකරණයත් මේ කොමඩි නාට්‍යට සම්බන්ධ වීම.
ඇත්තටම මේක ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්. මගේ හැඟීම නම් ඉක්මනින්ම යමක් වෙයි වගේ. අද ලෝකයේ බොහෝ රටවල අමන පාලකයන්ට තම අමන වැඩ වහ ගන්න තිබෙන ලොකුම බාධාව අන්තර්ජාලයයි. ඒ නිසා කුමක් හෝ මේ ගැන නම් කරයි කියන සැකය මටත් තිබෙනවා. කොහොම වුවත් රටවලට ලැබෙන අයි. ටී. ෆන්ඩ්ස් තමයි මෙයාලට තිබෙන ගැටළුව. ඒවා නවත්තනවා අන්තර්ජාලය පාලනයට ගියොත්. ඒ කුමක් වේවා මේකට ක්‍රමයක් මෙයාල සොයා ගනියි.
ReplyDelete