Tuesday, November 29, 2011

සිවුමංසල කොලුගැටයාගේ රුවන් වැකි

සිංහලෙන් පල වන සෑම පුවත්පතක ම පාහේ අන්තර්ජාලය ගැනත්, නව මාධ්‍ය ආදිය ගැනත් යමක් පල වුනොත් එය නම් අදාල මාතෘකාව ගැන මෙලෝ සංසාරයක් නොදැන කුරුටු ගෑ නන්දෙඩවිල්ලක් ය යන නිගමනයට එන්න ගත වෙන්නේ සුලු වේලාවක්. එක විකල්පයක් හැර මා මෙතෙක් අන්තර්ජාලය පිලිබඳ ව කියවා තිබෙන සියලු ම සිංහල පුවත්පත් ලිපි මේ ගනයට අයත් වෙනවා. ඉංගිරිසි පත්තර ඊට වඩා බොහෝ බුද්ධිමත් විදියට මේ ගැන ලියූ බවක් ඒකෙන් මම අදහස් කරන්නේ නෑ. බ්ලොග් ලියන්න පටන්ගත් මුල් කාලයේ නම් මේ අවිද්‍යාව ගැන කෝපයට පත් වී බැන අඬගසන ස්වරයෙන් ලිවීම මගේ පුරුද්දක් ව තිබුනා. ඒත් කල් යද්දී මට තේරුම් ගියේ එසේ බැන අඬගැසීමෙන් කිසිවකුට පලක් අත් නොවන බව යි. පුවත්පත්වලට අන්තර්ජාල ගැන ගම්මැදි හෑලි ලියන උදවිය "නිවැරදි" කරගන්න උදව්වක් ඒකෙන් ලැබෙන්නේ නෑ. සිදු වන එක ම දේ මගේ කෝපය ඉහවහා යාම විතරයි.

අන්තර්ජාලය, සාම්ප්‍රදායික ජනමාධ්‍ය වර්තමානයෙහි මුහුන දෙන ගැටලු හා නවමාධ්‍ය ආදිය ගැන මා මෙතෙක් සිංහල පුවත්පතක කියවූ අර්ථාන්විත ම ලිපි කිහිපය පසුගිය සති තුනක පමන කාලයක් තිස්සේ රාවය පත්‍රයේ පල වුනා. සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍ය ලෝකය තුල ප්‍රවීන ලේඛකයකු මෙන් ම බ්ලොග්කරුවකු ද වන නාලක ගුණවර්ධන මහතා ලියන සිව්මංසල කොලුගැටයා නමැති තීරු ලිපිය මෙකී විශය පිලිබඳ ලියැවුනු සිය ගනන් පල් හෑලි අතර මට හමු ව තිබෙන එක ම ව්‍යතිරේකය යි; වැදගැම්මකට ඇති එක ම ලියැවිල්ල යි. ඔහු අන්තර්ජාල වාරනය පිලිබඳ ව පසුගිය සති කීපයක් තුල හටගත් සංවාදයට කල මැදිහත් වීම ඉතා විචිත්‍ර යි, විදග්ධ යි, තියුනු යි. අවාසනාවකට රාවය අන්තර්ජාල සංස්කරනයට මේ වැදගත් ලිපිවලින් එකක්වත් ඇතුලත් ව නැති බව පේනවා. රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා ද ඇතුලු ව අන්තර්ජාල වාරනය හා නියාමනය ඉල්ලා හඬනැඟූ බොහෝ දෙනෙකුට ලියූ ප්‍රතිචාරයක් බඳු එම ලිපි පෙලේ අලුත් ම ලිපිය ආරම්භ වෙන්නේ මෙහෙම යි:

"නෙත් අඳ වූ පස්දෙනෙකු ජීවිතයේ මුල් වතාවට සද්දන්ත ඇතකු මුණගැසීමේ කථාව අප අසා තිබෙනවා. ඇතාගේ ස්වරූපය නෙතින් නොදැක, ඇසෙන හඬින් හා ස්පර්ශයෙන් පමණක් මේ සත්වයා ගැන මනෝ චිත්‍රයක් මවාගන්නට ඔවුන් තැත් කරනවා. එහෙත් තමන්ට ගෝචර වූ නිරීක්ෂණ මත පමණක් පදනම් වී මේ පස්දෙනා එළැඹෙන නිගමන එකිනෙකට බොහෝ සෙයින් වෙනස්.

"ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන අපේ ඇතැම්දෙනා දක්වන අදහස් දෙස බලන විට මට මේ කථාව සිහි වෙනවා."

පත්තර, සඟරා, රේඩියෝ, රූපවාහිනී ලෝකවලට අයත් මූලධර්ම පමනක් උපයෝගී කරගනිමින් ඉන්ටර්නෙට් මාධ්‍යය කිරා මැන බැලීමටත්, නියාමනය හා පාලනයටත් පිවිසෙන උදවියට මගහැරෙන විශේශ ගතිකයන් හා මානයන් මොනවා ද? ගුණවර්ධන මහතා මෙහෙම කියනවා.

"ඉන්ටර්නෙට් මාධ්‍යය සෙසු මාධ්‍යයන්ගෙන් වෙනස් බවට උපමිතියක් (analogy) ගැන මා කල්පනා කළා. සරලව කිවහොත් මුද්‍රිත මාධ්‍ය ගොඩබිමටත්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය සාගරයටත් සම කළ හැකියි. ගොඩබිම කළ හැකි හැම දෙයක් ම සාගරය මතුපිට හෝ පතුලේ කළ නොහැකි වූවත් ඒ හැමතැනට ම ගුරුත්වය බලපානවා. මේ උපමිතිය තුළ ඉන්ටර්නෙට් සමවන්නේ අභ්‍යවකාශයටයි. 1961 දී මිනිසකු මුල්වරට අභ්‍යවකාශයට ගියදා පටන් අද වනතුරු අභ්‍යවකාශයට යෑමේ අත්දැකීම ලබා ඇත්තේ 600කට අඩු සංඛ්‍යාවක්. ගුරුත්වය අඩු හෝ නැති, වායුගෝලයකින් තොර අභ්‍යවකාශයේ හැසිරීමට හා ජීවත්වීමට විශේෂිත පුහුණුවක් අවශ්‍ය වෙනවා. උපන්දා සිට ගුරුත්වය සහිත මහපොළොව මත විසීමෙන් ලද සහජ බුද්ධිය මඳෙකට පසෙකලා, වෙනස් විදියට සිතීමට සිදුවෙනවා. සයිබර් අවකාශයට පිවිසි අප සැමටත් මෙසේ අපට සහජයෙන් හෝ වෘත්තියෙන් ලද තත්වාරෝපණය (conditioning) වෙනුවට අලුත් පරිසරයක නව යථාර්ථයකට හැඩ ගැසීමට සිදුවෙනවා.

"අජටාකාශගාමීන් දිගුකාලීන පුහුණුවක් ලබනවා. එහෙත් පැය දෙක තුනකවත් පුහුණුවකින් තොරව සයිබර් අවකාශයට පිවිසිය හැකියි. එසේ පිවිසෙන අපේ ඇතැම්දෙනා භෞතික ලෝකයේ පුරුදු එතැනටත් ආරෝපණය කරන විට යම් නොගැළපීම් ඇතිවෙනවා."

වික්ටර් අයිවන් මහතා මෙන් ම තවත් බොහෝ දෙනාත් පුනපුනා ප්‍රකාශ කරපු කාරනයක් වුනේ අනෙකුත් සාම්ප්‍රදායික ජනමාධ්‍ය සම්බන්ධයෙන් නම්, යම් පුද්ගලයෙක් මාධ්‍ය භාවිතාව නිසා අගතියට පත් වුනොත් ඒ සඳහා ගත හැකි විධිමත් පියවර තියෙන බව යි. එම කතාවේ ම අනිත් පැත්ත හැටියට ඒ උදවිය කියන්නේ අන්තර්ජාලය එහෙම නීතියක් රීතියක්, වගකීමක්, වග වීමක් නැති කැලෑවක් වගේ කියල යි. මේ අදහස් දැක්වීමට අනුව පුවත්පත්, සඟරා, ගුවන්විදුලි හා රූපවාහිනී ආදී සාම්ප්‍රදායික මාධ්‍ය එක් පසෙකටත් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන නවමාධ්‍ය අනෙත් පසකටත් අයත් වන භූදර්ශනයක් නිර්මානය වෙනවා. පලමුවැන්න ලෝකසම්මතයට අනුකූල, සදාචාරවත් පර්යායගත අංශය. දෙවැන්න කැලෑ නීතිය රජයන අන්ධකාර ලෝකය. පලමුවැන්නේ සාධාරනත්වය කොතෙක් ද කියතොත් එයින් අගතියකට පත් වූ කෙනෙකුට සාධාරනය ඉටු කරගැනීමේ යාන්ත්‍රනයක් තියෙනවා. එය පවත්නා නීති පද්ධතියට යටත්. දෙවැන්න තව ම එහෙම තැනක් නෙමේ. එය දමනය කොට රාජ්‍යයේ අනසකට නතු කල යුතු යි.

ඒත් මේ කතාවේ සිදුරු බොහෝ තිබෙනවා. කියන තරම් චිත්‍රය සරලත් නෑ, සුන්දරත් නෑ. නැවතත් ගුණවර්ධන මහතාට සවන් දෙමු:

"ජනගහනයෙන් සියයට 10-15ක් බද්ධ වන ඉන්ටර්නෙට් මාධ්‍යයට වඩා විශාල ග්‍රාහක පිරිසක් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවලට සිටිනවා. නමුත් එකී නාලිකාවකින් අපහාසයට හෝ අගතියට හෝ පත් කිසිවකුට පිළිතුරු දීමේ අයිතිය සහතික කැරී නැහැ. රටේ නීතිය හරහා අපහාස නඩුවක් ගොනු කිරීම හැරුණු කොට දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කොට යම් සමථයක් (mediation) කළ හැකි විද්‍යුත් මාධ්‍ය එකමුතුවක් ද මෙරට නැහැ. මේ මහා හිදැස් පුරවා නොගෙන එක්වර ම වෙබ් ප්‍රවෘත්ති නියාමනයට යොමු වීමට SLPI ආයතනයට හෝ මෙරට ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතනවලට හැකියාවක්, පළපුරුද්දක් හෝ ශිල්ප ඥානයක් නැති බව පිළිගත යුතු යි.

...

"ඉන්ටර්නෙට් ප්‍රවෘත්ති නියාමනය ගැන නිරවුල් හා මැදහත් සංවාදයක් අවශ්‍යයි. ගොඩබිම සිට පිහිනීම ගැන හා කිමිඳීම ගැන කතා කිරීම ප්‍රායෝගික නොවන්නා සේ ම මිහිමත සිට අභ්‍යවකාශයේ හැසිරීම නියාමනයට තැත් කිරීමත් සීරුවෙන් කළ යුත්තක්!"

මේ අගනා ලිපිය සම්පූර්නයෙන් කියවන්න 2011 නොවැම්බර් 27 වැනිදා රාවය පුවත්පතේ 5 වැනි පිටුව බලන්න.

ගුණවර්ධන මහතා අන්තර්ජාලය හා ජනමාධ්‍ය සම්බන්ධයෙන් ලියූ පැරනි තීරු ලිපි ඔහුගේ බ්ලොග් අඩෙවියේ දැන් පල කර තිබෙනවා.

Update (03 December 2011) මෙහි උපුටා දැක්වෙන තීරු ලිපිය ද දැන් පල ව ඇති බව ගුණවර්ධන මහතා දැනුම් දුන්නා (ප්‍රතිචාර තීරය බලන්න) ඒ ලිපිය කියැවීම සඳහා මෙතන ක්ලික් කරන්න.

2 comments:

  1. Thank you for kind words. This particular column is now on my blog, with direct link at: http://tiny.cc/Cyberia

    I still face problems with Sinhala fonts. Ravaya wants us to write in FM Bindumati font, which is not Unicode supported. To post them on my WordPress blog, which needs Unicode Sinhala, I use the online converter http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_dlm-u.xml

    But it is not perfect. Some complex Sinhala characters are distorted by UCSC converter. For example, it does not convert Sri in Sri Lanka from FM to Unicode.

    Sorry about this, but nothing I can do.

    ReplyDelete
  2. Great! I just updated the post with the link.

    By the way, I do it the other way when I have to produce texts for both online and print media.

    I write them in Unicode and then convert into FM fonts using Malinthe's converter: http://converter.malinthe.com/

    This converter is constantly updated and the maintainer responds really fast and fixes bugs if you report any

    ReplyDelete