Saturday, April 13, 2013

"බොදු බලයට" එරෙහි ව "බොදු බලය"?

බොදු බල සේනා සංවිධානයට එරෙහි ව "ධර්මය" නඟා සිටුවන බවට ශපථ කරමින් කැඳවුම් කෙරුනු විරෝධතාවක් ඊයේ පොලිසියේ මැදිහත් වීමෙන් අඩපන කොට විසුරුවා හරිනු ලැබුවා. Buddhists Questioning Bodu Bala Sena නමින් හැඳින්වුනු Facebook පිටුවක් වටා ගොනු වුනු මේ විරෝධතාකරුවන්ගේ ප්‍රකාශිත අරමුන "බොදු බල සේනා සංවිධානය ධර්මයට එකඟ ව ක්‍රියා කරන්නේ ද?" යනාදී ප්‍රශ්න ගනනාවක් මතු කොට "ධර්මය" සහ බොදු බල සේනාව අතර විසංසන්දනයක් පෙන්නුම් කිරීම බව පෙනී ගියා.

පොලිසිය සෑම විටක ම බොදු බල සේනාවට හිතපක්ශපාතී ආකාරයෙන් හැසිරෙන බවත් ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවත් මෙතෙක් හටගත් සෑම සිද්ධියකින් ම පාහේ පැහැදිලි ව පෙන්නුම් කෙරුනා. බොදු බල සේනාවට "බෞද්ධ විරෝධී" සාප්පු, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන යනාදිය වටලන්නත්, බඩුභාන්ඩ අත්අඩංගුවට ගන්නත් "පොලිස් බලතල" ලැබී තිබුනු සෙයක් පෙනී ගිය අතර පොලිසිය නිහඬ ව ඒ අසලට වී සිටිනු ද දකින්න ලැබුනා. ඉතින් මේ අවස්ථාවේ දීත් පොලිසිය ක්‍රියා කල ආකාරය තර්කානුකූල යි, උචිත යි. ඔවුන් බොදු බල සේනා විරෝධය අඩපන කරන්නත් විරෝධතාකරුවන් ත්‍රස්ත කරන්නත් විධිමත් ව මැදිහත් වුනා.



අදහස් පල කිරීමට, රැස්වීමට හා උද්ඝෝශනයට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අතිශය වැදගත් ලක්ශනයක්; අවශ්‍යතාවක්. මෙහි දී මර්දනයට පාත්‍ර වූ උද්ඝෝශකයන්ගේ අයිතීන් ආරක්ශා කිරීමට එක පැහැර අප ඉදිරිපත් විය යුත්තේ එනිසයි.

ඒත් ධර්මය නඟා සිටුවන අටියෙන් ද බොදු බල සේනාව ප්‍රශ්න කරන අටියෙන් ද පැවැත්වුනු මේ ධාර්මික ජනරාශිය හරියට ම බොදු බල සේනා සංවිධානයේ මධ්‍යස්ථානය ඉදිරිපිට සිදු කිරීමෙන් අදාල සංවිධායකයින් අපේක්ශා කලේ කුමක් ද යන්න මට ප්‍රශ්නයක්. මෙවැන්නකින් ප්‍රකාශිත පරිදි සාධනක (constructive), "බෞද්ධ" බලපෑමක් ඇති කල හැකි ද? එමගින් ඊයේ වැනි දිනෙක, කොලඹින් පිට ව සිටි දහස් සංඛ්‍යාත මහජනතාව ධර්මයෙහි පිහිටුවා උගන්වාගැනීමේ අවස්ථාවක් විවර වුනා ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ අපේක්ශාව වුනේ බොදු බල සේනා සංවිධානය මෛත්‍රියේ බලයෙන් "දමනය" කරගැනීම ද? ප්‍රකාශිත අරමුනු කුමක් වුනත් සත්‍ය වසයෙන් ම සිදු වුනේ කුමක් ද? පොලිසිය ලවා අදාල උද්ඝෝශනයට එරෙහි ව ප්‍රතික්‍රියාවක් ජනනය කරගැනීම; බොදු බල සේනා සංවිධානය පැත්තෙන් ප්‍රචන්ඩ පිලිතුරක් ලැබීම (එය මීට වඩා ප්‍රචන්ඩ ස්වරූපයක් ගන්න ඉඩ නොතිබුනා නෙමෙයි); ශ්‍රී ලංකාව තුල සාමකාමී ව රැස්වීමට හා අදහස් පල කිරීමට අවකාශයක් නැති බව "ඔප්පු වීම" යනාදිය නෙමෙයි ද? මේ කිසිදු කරුනක් අලුතින් ඔප්පු කිරීමට ඇවැසි ව තිබුනු දෑ නෙමෙයි. අද උදෑසන වාර්තා වුනේ යාපනය උදයන් පුවත්පත් කාර්යාලය කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබ ඇති බව යි. මේ සියල්ල අඛන්ඩ ව ඇවිල යන දේශපාලන අර්බුදයක ප්‍රකාශන. ඒවා "දේශපාලනයෙන්" තොර ව "ධර්මයෙන්" විසඳිය හැකි ප්‍රශ්න ද? කිසියම් අන්තවාදී සංවිධානයකට එරෙහි ව දේශපාලන ප්‍රශ්න මතු කිරීමකින් තොර ව "ධර්මයෙන්" සන්නද්ධ ව සංවිධානය වීමෙන් ලබාගත හැකි ප්‍රතිඵලය කුමක් ද? එකී අන්තවාදී සංවිධානය තමා ම ප්‍රකාශයට පත් කරගෙන සිටින අරමුනු එහි සැබෑ අරමුනු වසයෙන් ගනිමින්, එහි දේශපාලන අක්මුල් සාකච්ඡාවෙන් බැහැර කරමින් ගොඩනඟන විරෝධයක් අවසන් විග්‍රහයේ දී ප්‍රකාශයට පත් කරන දේශපාලනය කුමක් ද? එම විරෝධය අවසානයේ කෙබඳු දේශපාලනයක ගොදුරක් බවට පත් වේ ද?

මගේ අදහස නම් ඊයේ ප්‍රයත්නයෙන් කිසිදු "බෞද්ධ" ප්‍රතිඵලයක් නොලැබුනු බව යි. එසේ ම එවැනි "බෞද්ධ" හා "ධාර්මික" ප්‍රතිඵලයක් ලැබීමට නියමිත ව තිබුනු බවක් ද මුල සිට ම පෙනෙන්නට තිබුනේ නෑ. එය ස්වභාවයෙන් ම මෙවැනි (නැතහොත් මීට වඩා ප්‍රචන්ඩ) ප්‍රතික්‍රියාවක් බොදු බල සේනා පාර්ශ්වයෙන් අවුලුවාගැනීමේ හැකියාව, විභවය සහිත ව ආරම්භ වූවක්.

බොදු බල සේනාවේ "බෞද්ධ බව" ප්‍රශ්න කරන්නට ගිය පිරිසේ "බෞද්ධ බව" ප්‍රශ්න කිරීමට බොදු බල සේනා සාමාජිකයින් ඉදිරිපත් ව සිටිනු දකින්න ලැබීම තවත් උත්ප්‍රාසවත් කාරනයක්. දැන් මේ ලියන මම ඉහත ක්‍රියාවලියේ "බෞද්ධ බව" ප්‍රශ්න කරමින් ඉන්නවා. මට සිහි වෙන්නේ සද්ගුනවත් බූරුවා මහතාගේ ආගම ප්‍රශ්න කෙරුනු අවස්ථාව.

Monday, February 18, 2013

බලයා සහ තවත් කතා

බල මාලු කෑමෙන් ජපනා බුද්ධිමතෙකු වූ සැටි අනාවරනය කරන්න ඇමැති විමල් වීරවංශ මහතා සමත් වීම ජාතියේ භාග්‍යයක්. මුල්ලේරියාව ප්‍රදේශයේ කිසියම් ස්ථානයක දී මේ පිලිබඳ අදහස් දක්වා ඇති අමාත්‍යවරයා ජපනාගේ දියුනුවේ රහස අධ්‍යාපනය සහ කෑම බීම රටාවේ වෙනස බව පෙන්වා දී තිබෙනවා. ලෝක යුද්ධයෙන් කුඩුපට්ටම් වී ගිය ජපානය දියුනුවෙන් දියුනුවට ගියේ එහෙමයි.

මේ වන විට අධ්‍යාපනය "වෙනස් කිරීමේ කටයුත්ත" සැලකිය යුතු දුරකට රැගෙන යන්න ආන්ඩුව සමත් වී ඇතත් ජනතාවට බල මාලු කැවීම වැනි වැදගත් අංශ අතපසු වී තිබෙන තත්වයක් තුල වීරවංශ මහතාගේ මැදිහත් වීම අතිශය තීරනාත්මක පුරෝගාමී කටයුත්තක් බව සඳහන් කල යුතු ම යි. මම හිතන්නේ බල මාලු පිලිබඳ ඇමති ධුරය එතුමාට ලබා දීමෙන් පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ජනතාව ශක්තිමත් හා බුද්ධිමත් කරන්න කාලය ඇවිත්.

බල මාලු අනුභවයේ වැදගත්කම ගැන කතාබහ කරමින් ඉන්නා අතර මගේ මිතුරෙක් ෆේස්බුක් පැත්තේ දී ඇසූ කතාන්දරයක් මට කියාදුන්නා. කතාවට වාක්‍ය තුන යි:

"ඔන්න දවසක් මහින්ද රාජපක්ශ කියල මිනිහෙක් ගමනක් යනකොට වලස්සු දෙන්නෙක් මුලිච්චි වුනා. එක වලහෙක් දඩිබිඩි ගාලා ගහකට නැගල බේරුනා. අනිකා මැරුනා වගේ බිම නිදාගෙන ඉඳල බේරුනා."

Monday, February 11, 2013

විශ්වරූපම් වාරනය

කමල හසන් අධ්‍යක්ශනය කල විශ්වරූපම් සිනමාපටය මුලින් තාවකාලික ව තහනම් කල ශ්‍රී ලංකා ආන්ඩුව පසු ව තහනම ඉවත් කර තිබෙන බවට ආන්ඩු ගැති, උද්දාමිත සිරස්තල ලියූ උදවිය පුවත ඇතුලේ මුල්ලක හංගා දැමූ, ඇතැම් විට නිසි සේත් නොලියූ කරුනක් තියෙනවා. ඒ තමයි දැන් චිත්‍රපටය නිල වසයෙන් ම මෙරට තුල වාරනයට ලක් ව තිබෙන බව. මා මෙහි දී අදහස් කරන්නේ චිත්‍රපටිය නිසා හටගෙන තිබෙන කිසියම් ආතතියක් නිසා ප්‍රදර්ශනය අත්හිටුවීම හෝ තාවකාලික ව තහනම් කිරීම නමැති වාරනය ගැන නෙමෙයි. චිත්‍රපටියට දීර්ඝ කාලීන ව බලපාන අන්දමින් කෘතිය වාරනයට ලක් කිරීම ගැන.

දැන් මෙරට පෙන්වීමට අවසර දී තිබෙන්නේ චිත්‍රපටකරුවා තැනූ කෘතිය නො ව දර්ශන දෙකක් වාරනයට ලක් කිරීමෙන් අනතුරු ව මෙරට ආන්ඩුව තැනූ චිත්‍රපටියක්. චිත්‍රපටියේ අලුත් සංස්කාරක මහේශ් නාරායනන් නො ව ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය යි. එනිසා හරිහමන් සිරස්තලයක් ලියන්නේ නම් ලිවිය යුත්තේ චිත්‍රපටිය මෙරට වාරනයට ලක් කර තිබෙන බව නෙමෙයි ද?

වාරනයට (සහ තාවකාලික තහනමට යන දෙකට ම) හේතුව චිත්‍රපටිය තුල ගැබ් ව තිබෙන මුස්ලිම් විරෝධී අදහස්/හැඟීම්/දර්ශන බව අහන්න ලැබෙනවා. චිත්‍රපටිය දැක නැති අපට ඒ ගැන හරිහැටි නිගමනය කරන්න සාක්ශියක් නැහැ. ඒ වුනත් මේ අවස්ථාවේ අප සියලු දෙනාෙග් අවධානය යොමු විය යුතු සහ යොමු කල හැකි අංශයක් තියෙනවා. මේ ඊනියා මුස්ලිම් හිතපක්ශපාතකම ශ්‍රී ලංකාවේ පහල වෙන්නේ කුමන වාතාවරනයක් තුල ද? එලිපිට ම ආන්ඩුවේ සහකාර දේශපාලකයින්ගේ දෘශ්ටිවාදාත්මක හා දේශපාලනික තල්ලුව සේ ම, 1983 සිහිගන්වමින් පොලිසියේ නිහඬ සහයෝගය ද සහිත ව මුස්ලිම් විරෝධී වර්ගවාදී උත්සන්නියක් රටපුරා දෝරෙගලා යමින් තියෙන අවස්ථාවක් මේක. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් බව කියැවෙන ව්‍යාපාරික ස්ථාන පොලිසියේ නිහඬ අනුග්‍රහය සහිත ව වටලා අඩන්තේට්ටම් කිරීමේ සිට ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් මදාවිකම් පෑම දක්වා පුලුල් පරාසයක පැතිරුනු වර්ගවාදයකට ඉඩ හැර සිටින පාලන තන්ත්‍රයක් කලා කෘතියක් වාරනය කරමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් ගැන සංවේදී වෙන්න දරන වෑයම දකින අපට සිහිවෙන්නේ කුමක් ද? කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන සැටි නෙමෙයි ද?

දැන් මේ ප්‍රශ්නයට විරුද්ධ ව කෙනෙක් විතර්කයක් මතු කරන්න ඉඩ තියෙනවා: "මේක අහවල් අහවල් රටවලත් තහනම් කරලයි තියෙන්නේ. ඒ වගේ ම කමල හසන් ඉන්දියාවේ දීත් දර්ශන වාරනය කරන්න එකඟ වෙලා ඉන්න බව වාර්තා වුනා. ඉතින් තමුන්නාන්සේට තියෙන කැක්කුම මොකද්ද? මේ ගැන ඔහොම ලියලා වැඩක් තියෙනව ද?"

මේ ගැනත් කලින් ම උත්තරයක් දිය යුතු යි. ඉන්දියාවේ තියා මොන තූත්තුකුඩියක වුනත් චිත්‍රපටියක දර්ශන නියෝග මගින් ඉවත් කෙරුනා නම් ඒක වාරනයක් බව නිවැරදි වචනවලින් සඳහන් කිරීම වැදගත්. කලාකරුවා මුලින් සකස් කල ස්වරූපයෙන් වෙනස් විකෘත නිර්මානයක් ප්‍රදර්ශනයට අවසර දීම කිසි සේත් පිලිගත නොහැකි, අනුමත කල නොහැකි තත්වයක්. ඒ ගැන යථා පරිදි නියම වචනවලින් ලිවිය යුතු බවත්, සිහිය පිහිටුවාගත යුතු බවත් මගේ අදහස යි. නිකම් ම "Ban lifted" කියා අතපිහදාගන්න එවැනි අවස්ථාවක හැකියාවක් තිබීම ම ප්‍රශ්නකාරී නැද්ද? එවැනි අවස්ථාවක ලියැවෙන ලිපිවල, වාර්තාවල, සිරස්තලවල ගුරුත්ව කේන්ද්‍රය යොමු විය යුත්තේ වාරනය දෙසට නෙමෙයි ද?

ඒ වගේ ම මේ හැම පාලන තන්ත්‍රයක් ම පාහේ කලාකෘතියක් බඳු සාපේක්ශ වසයෙන් "වැදගත්", බුද්ධිමය හා "හානිකාරක නොවන" (වෙනත් වචනවලින් කියතොත් අඩුවෙන් "විනාශකාරී") තලයක ක්‍රියාත්මක වන මාධ්‍යයකට වැට බඳිමින් මුස්ලිම් ජනතාවට ඇහුම්කන් දෙන බව පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වුනත් මහමග එලිපිට කායික තර්ජන එල්ල කරමින් වැඩී එන වර්ගවාදය සිය පාලනය ගෙන යනු පිනිස දඩමීමා කරගෙන ඉන්නවා. මේ කපටි ආරක්ශකයින්ට කෙලින් උත්තරයක් දෙන්න අද අපේ රට තුල මුස්ලිම් ජනතාවට අවකාශයක් නැහැ. විවිධ තැන්වල සිදු වෙමින් පවතින මුස්ලිම් විරෝධී අඩන්තේට්ටම්වලට එරෙහි ව සාමකාමී උද්ඝෝශනයක වත් නිරත වෙන්න පුලුවන්කමක් මුස්ලිම් ජනතාවට තියෙනව ද? ඔවුන්ට සිදු ව ඇත්තේ ප්‍රවේසමෙන්, හිස නමාගෙන මේ අවදානම් කාලපරිච්ඡේදය ගත කරන්න යි.

Friday, February 1, 2013

ඒරොන් ශ්වාර්ට්ස්

ඒරොන් ශ්වාර්ට්ස්ගේ මරනය පසුගිය මාසය පුරා අන්තර්ජාල වාසීන් අතර ආන්දෝලනයට මෙන් ම බලවත් සන්තාපයට ද තුඩු දුන් සිදුවීමක් වුනා. අද හැක්ටිවිස්ට් යනුවෙන් හැඳින්වෙන, අන්තර්ජාලය පාදක කරගත් ක්‍රියාධරයන් අතර ඔහු ප්‍රමුඛයෙක්. ගෙල වැල ලාගෙන සියදිවි හානි කරගන්නා විට ශ්වාර්ට්ස් ඉතා දුශ්කර නඩු විභාග ක්‍රියාදාමයක් තුලින් ගමන් කරමින් සිටියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ MIT ආයතනය තුල සිට JSTOR වෙබ් අඩෙවියෙන් ශාස්ත්‍රීය හා පර්යේශන ලිපි මිලියන 4.8 ක පමන ප්‍රමානයක් අධිවේගයෙන් බාගැනීමේ "වරදට" ඔහුට එරෙහි ව නඩු පවරනු ලැබුනා. ශ්‍රී ලංකාවේ රාවය වැනි ඇතැම් පුවත්පත් මෙන් ම විවිධ "ජාත්‍යන්තර" මාධ්‍ය ද ඔහු JSTOR අඩෙවිය "හැක්" කල බව ලියා තිබුනත් එය තාක්ශනික ව සත්‍යය නොෙවයි. දැන් දැන් අඹ ගහකට ගල් ගැහුවත් "අන්න හැක් කෙරුවෝ!" කියන පුරුද්දක් ජනමාධ්‍ය අතර වගාදිගා වේගන යනවා. ඒත් ඔහු සිදු කලේ සාමාන්‍ය පරිදි MIT ආයතනය තුලින් සැපයුනු සුජාත දොරටුවකින් එම අඩෙවියට පිවිසී ලිපි නීත්‍යනුකූල ස්වරූපයෙන් බාගැනීමයි. එහෙත් ඔහු සිය අවශ්‍යතාව නිසා එක වර ලිපි බොහෝ සංඛ්‍යාවක් බාගත හැකි ස්ක්‍රිප්ට් එකක් රචනා කලා. එමගින් එක වර සිදු කල බෑමේ තරම කෙතරම්ද කියතොත් JSTOR අඩෙවිය තාවකාලික ව අකර්මන්‍ය වුනා. ඉන් පසු හානිය අවම කරනු පිනිස MIT ආයතනයට ලබා දී තිබුනු JSTOR පිවිසුම තාවකාලික ව වසා දැමීමට පියවර ගැනුනා. මෙය JSTOR අඩෙවියේ රීති උල්ලංඝනය කිරීමක් බව නම් ඇත්ත.

මීට පෙරත් ඔහු මේ ආකාරයේ බාගැනීමේ මෙහෙයුමක් දියත් කෙරුවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපද අධිකරන පද්ධතියට අයත් ලියවිලි අත්පත් කරගනු පිනිස. අධික මිලක් ගෙවා ලබාගතයුතු ලියවිලි මේ ක්‍රමයට තොග පිටින් බාගත් ඔහු, ඒ සියල්ල නොමිලේ සියලු දෙනාට පිවිසිය හැකි හැකි සර්වරයකට පිටපත් කලා. එවර ඔහුට එරෙහි ව කිසිදු පියවරක් ගැනීමට බලධාරීන්ට හැකියාවක් නොලැබුනේ ඒ සියලු ලියවිලි ඇත්ත වසයෙන් ම නෛතික ව පොදු පරිමන්ඩලයට (public domain) අයත් වූ නිසා.

ශ්වාර්ට්ස්ගේ අරමුනු
JSTOR යනු ඩිජිටලීකරනය කෙරුනු ශාස්ත්‍රීය ප්‍රකාශන, ලිපි, පත්‍රිකා ආදිය ඇතුලත් වුනු දැවැන්ත ලේඛනාගාරයක්. දායකත්ව ක්‍රමය (subscription) ඔස්සේ ලැබෙන මුදල් කතුවරුන්ට නො ව ප්‍රකාශන කර්මාන්තයේ මහධන සිටුවරුන් වූ ප්‍රකාශකයන් අතට ගලා යන, පාඨකයාට වැට බඳින JSTOR සංස්කෘතිය ශ්වාර්ට්ස්ගේ තියුනු විවේචනයට පාත්‍ර වුනා. එහි මුරකාවල් ලා රැකගෙන තිබුනු බොහෝ පර්යේශන පත්‍රිකා සැබැවින් ම සම්පාදනය කෙරුනේ මහජන මුදලින් නඩත්තු කෙරුනු ව්‍යාපෘති මගින්. එහෙත් ඒ පර්යේශනවල ප්‍රතිඵල භුක්ති විඳීමේ අයිතිය මහජනතාවට අහිමි කරනු ලැබ තිබීම ශ්වාර්ට්ස් දුටුවේ අතිශය මානව විරෝධී කටයුත්තක් හැටියට යි.

ඉතින් සුපුරුදු පරිදි මිලියන ගනනක් ලිපි බාගැනීමෙන් ඔහු අපේක්ශා කලේ ඒවා නිදහසේ සංසරනය වීමට සැලසීම යි. JSTOR අඩෙවිය මත් පසු ව ශ්වාර්ට්ස් අපේක්ශා කල සංස්කෘතියට ප්‍රවිශ්ට වෙමින් සිය ලේඛනාගාරය සියලු දෙනාට ක්‍රමානුකූල ව විවර කිරීමට කටයුතු කිරීම අසිරිමත් සිදුවීමක්. එපමනක් නෙමෙයි, ඔවුන් ශ්වාර්ට්ස්ට එරෙහි ව සිවිල් නඩුවක් පවත්වාගෙන යන්න උනන්දු වුනේ නෑ. බාගත් ලිපි ලේඛන "නැවත භාරදී" සංසරනය අත්හිටවූ පසු ඔවුන් එම ක්‍රියාවලියෙන් ඉවත් වුනා. MIT ආයතනය පවා පසු ව ලිහිල් පිලිවෙතක් අනුගමනය කලත් ඇටර්නි ජනරාල් තැන, අධිකරනය සහ රාජ්‍ය තන්ත්‍රය මෙහි දී ක්‍රියා කලේ මෙවැනි "සොරකම්" කරන සියලු දෙනාට "පාඩමක්" උගන්වන ආදර්ශවත් නඩුවක් බවට මෙය පෙරලාගන්නා අටියෙන්. ඔවුන් දත්ත සොරකම් කිරීම, පරිගනක වංචා යනාදී චෝදනා ගනනාවක් යටතේ නඩු පවරා ඔහු පසුපස නොකඩවා ලුහුබැන්දා. එනිසා ම ශ්වාර්ට්ස්ගේ ගෙල නීතියේ දඬුඅඬුවට හිරවෙන්න පටන්ගත්තා. වරද පිලිගැනීමට සූදානම් නො වූ ශ්වාර්ට්ස් අබියස පැවැති සිරදඬුවම අවුරුදු 35ක් පමන වූ බව පෙනී යනවා. ඇතැම් විශ්ලේශකයකුට අනුව ඔහුට හිමි වීමට ඉඩ තිබුනු දඬුවම ඊටත් වඩා දිගු යි. මෙය ඇතැම් මිනීමැරුම් නඩුවක පවා නොලැබෙන අන්දමේ දරුනු දන්ඩනයක්.

මේ වාතාවරනය නිසා විශාදයට පත් ව සිටි ශ්වාර්ට්ස් ජනවාරි 11 වැනි දා සිය ජීවිතයට සමු දුන්නත්, ඔහු ඉල්ලා සිටි, සටන් වැදුනු පරමාදර්ශ පිලිබඳ උත්සුකය නව පනක් ලබා අලුගසා නැගිටින්න එම මරනය හේතුවක් වුනා. ලොව වටා විවිධ ක්‍රියාධරයන්, බුද්ධිමතුන් හා තරුන තරුනියන් විවිධ අන්දමින් ශ්වාර්ට්ස් අනුස්මරනයේ යෙදුනා. සුප්‍රකට ඇනොනිමස් කන්ඩායම සිය "යුතුකම" ඉටු කෙරුවේ කෙලින් ම MIT ආයතනයට අයත් අඩෙවි කිහිපයක් "හැක්" කිරීමෙන්.  හිටිවන ම පිබිද ආ අනුස්මරන ක්‍රියාකාරකම් අතර වඩාත් ආස්වාදජනක අංගය වුනේ ලොව දස දෙසින් විවිධ පොත්පත් සහ ශාස්ත්‍රීය පර්යේශන පත්‍රිකා ආදිය නිදහසේ අන්තර්ජාලයට මුදා හල #pdftribute ව්‍යාපාරය යි.

ශ්වාර්ට්ස් සටන් වැදුනේ කුමක් වෙනුවෙන් ද?
ඒරොන් ශ්වාර්ට්ස් යනු සරදියෙල් කෙනෙක් නෙමෙයි. ඔහු ඊට වඩා පුලුල් හා දැනුවත් ක්‍රියාවලියක කොටස්කරුවෙක්. ඔහුගේ වැඩකටයුතු හුදෙක් නිදහස් හා විවෘත ප්‍රවේශය - Open Access - පිලිබඳ ක්ශේත්‍රයට පමනක් සීමා වුනේ නැහැ. විකිලීක්ස් වෙබ් අඩෙවියට තොරතුරු සැපයූ බවට චෝදනා ලැබ සිටින බ්‍රැඩ්ලි මෑනිං පිලිබඳ ප්‍රශ්නයේ දී ශ්වාර්ට්ස් පෙන්නුම් කල නිර්භය බව මෙවර ඔහුට එරෙහි ව රාජ්‍ය තන්ත්‍රයෙන් එල්ල වූ දෘඪතර ප්‍රහාරයට තවත් හේතුවක් වන්නට ඇතැයි සැලකෙනවා. 2010 දී Freedom of Information Act නමැති පනත යටතේ නඩු මගට පිලිපන් හෙතෙම, බ්‍රැඩ්ලි මෑනිං බන්ධනාගාරගත ව සිටිය දී සැලකුම් ලබන අන්දම පිලිබඳ තොරතුරු ඉල්ලා සිටියා. රාජ්‍යය විසින් තිරය පසුපස ගෙනයනු ලබන සාපරාධී වදහිංසනයන්ට එරෙහි වීමේ දී ඔහු සිටගත්තේ විකිලීක්ස් සමග එක පෙලට.  පසුගිය වසරේ මුල් භාගයේ කූටප්‍රාප්තියට පත් වුනු SOPA විරෝධී අරගලයේ දී පුරෝගාමී මෙහෙවරක් ඉටු කල Demand Progress ව්‍යාපාරය ඔහුගේ සම-නායකත්වයෙන් නිර්මානය වූවක්. ශ්වාර්ට්ස්ගේ SOPA විරෝධය එක්සත් ජනපද පාලක ප්‍රභූව හා බලධාරීන් අතර ඇති කලේ ප්‍රසාදජනක ආකල්පයක් නෙමෙයි: ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔහුව දඩයම් කරන්න තවත් හේතුවක්.

ඔහුගේ වැඩකටයුතු එක්තරා ආකාරයක රොබින් හුඩ්/ සරදියෙල් පන්නයේ වීර ක්‍රියාවකට සමාන කරන්න ගත් උත්සාහය නිසා ඉස්මතු වුනේ සත්‍යයෙන් එක් පැත්තක් විතර යි. ඔහු ගැටුනු බලවේග ඔහුට වඩා බෙහෙවින් දැවැන්ත ද සංවිධානාත්මක ද වූ නිසා පුද්ගලයකු හැටියට "විනාශය" කරා ගියත් ඔහු දැරූ අදහස් හා පරමාදර්ශ පරාජය වුනේ නැති බව පැහැදිලි යි.

නිදහස් සංස්කෘතිය, විවෘත පිවිසුම්, අන්තර්ජාල නිදහස, භාශනයේ නිදහස ආදී උත්සුකයන් පෙරදැරි කරගෙන සාමූහික වත් තනිතනි වත් වැඩෙහි යෙදී සිටි ලොව වටා විවිධ පිරිස්, ශ්වාර්ට්ස්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් පැතිරගිය මරනාපර කීර්තියෙන් අලුත් වුනු උද්‍යෝගය හා ආවේශය ඇති ව ඒකරාශී වෙමින් ඉන්නවා. එක් පැත්තකින් අන්තර්ජාල අපරාධ සම්බන්ධ අත්තනෝමතික නීති ඉවත ලීමටත් ප්‍රතිසංස්කරනයටත් උද්ඝෝශනය කෙරෙන අතර තවත් පැත්තකින් විවෘත ප්‍රවේශය සහිත ශාස්ත්‍රීය සඟරා හා ප්‍රකාශන පිලිබඳ කතිකාව වැදගත් මට්ටමකට නැඟෙනවා. ඒ අතර ම මෙයාකාර හැක්ටිවිස්ට් භාවිතයන් සංකල්පනයට, නිර්වචනයට හා දිශාගත කිරීමට දැරෙන ප්‍රයත්න ද දැකගත හැකි යි. එය හැක්ටිවිස්ට් ප්‍රජාව තමන් ගැන ම - සිය භාවිතාව ගැන ම - ප්‍රශ්න මතු කරමින් ශබ්ද නඟා සිතන මොහොතක්.

RSS, ක්‍රියේටිව් කොමන්ස්, මාර්ක්ඩවුන් සහ තවත් වැඩ
ශ්වාර්ට්ස් බ්ලොග්කරනයේ යෙදෙන අපට බෙහෙවින් වැදගත් වන RSS 1.0 නමින් හැඳින්වෙන වෙබ් පෝශක ප්‍රභේදය නිපදවීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලා. ඒ වන විට ඔහුට යන්තම් වයස අවුරුදු 14ක් පමන යි! මාර්ක්ඩවුන් ලේඛන විධික්‍රමය (plain text formatting syntax) සම්පාදනය කිරීමටත් ඔහු දායක වුනා. මා බොහෝ විට මේ බ්ලොග් සටහන් ලියන්නේ මාර්ක්ඩවුන් යොදාගෙන. එය ඉතා ම සුපැහැදිලි හා නිරවුල් ක්‍රමයක්. බොහෝ ම පහසුවෙන් "පිරිසිදු" බ්ලොග් ලිපියක් හෝ වෙබ් පිටුවක් ලියාගන්න එයින් පුලුවන්. පසුව Reddit සමග ඒකාබද්ධ කෙරුනු Infogami සමාගමේ නිර්මාතෘවරයා වුනු ශ්වාර්ස් ඒකාබද්ධ කිරීමෙන් පසු බිහි වූ මව් සමාගමෙහි සම අයිතිකරුවකු බවටත් පත් වුනා.

Creative Commons ව්‍යාපාරය සමග සමීප සම්බන්ධයක් පැවැත්වූ ඔහු විකිපීඩියානුවෙක් ද වුනා. 2006 වසරේ විකිපීඩියා අධ්‍යක්ශ මන්ඩල නිලවරනයට තරග කල ඔහු ලියූ Who Writes Wikipedia හිසැති ලිපිය ඉමහත් ගෞරවයට පාත්‍ර වෙනවා. ඉතා ලාබාල වියෙහි දී ම අසාමාන්‍ය බුද්ධි ප්‍රභාවක් මෙන් ම නායකත්ව ලක්ශන ද පෙන්නුම් කල මේ පුරෝගාමියාගේ නික්ම යාම පිරියම් කල නොහෙන හානියක්. එහෙත් ඔහුගේ ජීවිතය විසින් මෙන් ම මරනය මගින් ද ඉගැන්වූ පාඩම් කවර මට්ටමකින් හෝ මේ ක්ශේත්‍රවල නිරත වන, නිදහස අගයන ගැහැනුන්ට හා මිනිසුන්ට අනුප්‍රානයක් සපයන බව නිසැක යි.

පහත දැක්වෙන්නේ ඔහු වෙනුවෙන් පල කෙරුනු ශෝක ප්‍රකාශ යනාදියෙන් සමහරක්. සබැඳුම් පල කරන්නේ මෙය කියවන කෙනෙකු දෙන්නෙකු හෝ වැඩි දුර සොයාවි කියවාවි කියා හිතලයි.
ශ්වාර්ට්ස්ගේ වෙබ් අඩෙවිය http://www.aaronsw.com/
ශ්වාර්ට්ස් අනුස්මරන වෙබ් අඩෙවිය Remember Aaron Swartz

පහත දැක්වෙන්නේ අප SOPA නැවතූයේ කෙසේ ද? යන මැයින් ශ්වාර්ට්ස් පැවැත්වූ දේශනයක්



******************************
සේයාරුව විකිපීඩියා වෙතින්. CC-BY Fred Benenson

Tuesday, January 1, 2013

"Not My Department"



Jacob Appelbaum's keynote at 29C3 (29th Chaos Communication Congress), 27 December 2012

This is something inspirational, and thought provoking; exactly what you I want to see on the first day of the year.

***********
More from 29C3

Thursday, October 25, 2012

වවුල් කර්ම

වවුලෝ එන්න පටන්ගත්තේ රාත්‍රී අහස දැක්වෙන දර්ශනයක් මැද දී නිසා ඒක ඇත්තට ම චිත්‍රපටියේ කොටසක් ද නැද්ද යන්න මුලින් ම හිතාගන්න අමාරු වුනා. "අන්න වවුලො!" මට පසුපස පේලියේ ඒ වන විටත් උස් හඬින් කතාබස් කරමින් උන් කල්ලියෙන් එකෙක් කිව්වා. ටික වෙලාවක් යනතුරු දෙගිඩියා සහගත මුනුමුනුව පැවතුනත් අන්තිමේ දී උන් අපේ හිස්ගෙඩිවලට උඩින් ඔබමොබ යන්න ගත්ත නිසා වවුලන් චිත්‍රපටියේ නො ව චිත්‍රපටි ශාලාවේ සිටින බව නිශ්චිත ව ම කාටත් තේරුම් ගියා. ඉන් පසු දවල් අහසේත්, කාමර තුලත්, ඇඳන් මතත්, නාන කාමර තුලත් වවුලන් පේන්න ගත්තා.


හරි මැද හතරැස් කොටුවක හැඩයෙන් කෙරුනු පිරියමකින් ද තැනතැන විසිර තිබුනු වවුල් බෙට්ටෙන් හටගත් පැල්ලම්වලින් ද යුතු තිරය මත මැවුනේ ප්‍රසන්න ජයකොඩි හැදූ කර්මත් මේ සිනමා ශාලාව තිබෙන නගරයේ සංස්කෘතියත් අතර පරතරය තුල නිපදවුනු යමක්. පසුපස පෙලේ උදවිය පැමිනි මොහොතේ පටන් චිත්‍රපටියේ නිශ්ශබ්ද ජවනිකාවන්ට නොසතුට පල කරන්නත් නලුනිලියන්ගේ සහ එහි දැක්වෙන පරිසරයේ හැඩහුරුකම් විචාරයට ලක් කරන්නත් ඉදිරිපත් වී සිටි නිසා වවුලන්ගේ ආගමනයෙන් ඇති වුනු හා හෝව අපට අලුත් දෙයක් වුනේ නෑ. චිත්‍රපටිය සම්පූර්නයෙන් නිහඬ වුනු විට ඔවුන් කටහඬ මනා ව අවදි කල බැවින් කිසිම පාලුවක් කාන්සියක් නැතුව වෙලාව ගත කරන්න පුලුවන්කමක් තිබුනා. දවල් ඇද වැටුනු වැස්සෙන් සිනමා ශාලාවේ බිම යට වී තිබුනු බව ඇඟවෙන මඩ මුසු වතුර පැල්ලම්වලින් ගැවසී ගත් හාත්පසින් ඉවසිය නොහැකි දැඩි මූත්‍ර ගන්ධයක් වහනය වුනා. විවේක කාලය විනාඩි දෙකකට වඩා ලබා දෙන්න නොහැකි වුනේ කැන්ටිම සහ වැසිකිලිය තිබෙන ප්‍රදේශයට කිසි සේත් ලඟා විය නොහැකි මට්ටමකට දුර්ගන්ධය උත්සන්න ව පැවති නිසා විය යුතු යි. අඩියක් දෙකක් හෝ ඔබ මොබ ගමන් කිරීමෙන් කුමන අකරතැබ්බයකට පත් වේ ද යන්න අවිනිශ්චිත නිසා විසි පහක් පමන වූ සියලු දෙනා සීරුවෙන් ආසනවලට ම ඇලී හිටියා. සමාන්තර විශ්වයක සිට එබිකම් කරන සත්ව සනුහරයකට අයත් කටවල් මෙන් සීලිමේ සිට පහලට ඇරී තිබුනු සිදුරු කලක් තිස්සේ වතුර කාන්දු වීමේ වග විත්ති කියා පෑවා. චිත්‍රපටියේ එන තරුනයාගේ නවාතැනේ ම අධියථාර්ථවාදී දිගුවක්. චිත්‍රපටිය නැවතත් පටන්ගත්තා.

තක්කුමුක්කු වී ගිය අප අවසානයේ පිටතට එන විට සිනමා ශාලාවේ බලු කුක්කෙක් මගේ කකුල ලෙවකන්න ඉදිරිපත් වුනත් ඊට ඉඩ නුදුන් කුකු හිමියා (කුක්කාගේ අයිතිකරු) කුක්කා ද රැගෙන වැසිකිලිය දෙසට කඩිසර ගමනින් ගියා. දොරකඩ තව පිරිසක් අප සියලු දෙනා දෙස අනුකම්පාව මුසු බැල්මක් හෙලාගත් වන ම උන්නා. දිඩිබිඩියේ එලියට පැනගත් පෙම් යුවලක් තරගයට මෙන් අයිනක නවතා තිබූ ත්‍රීරෝද රථයකට ඉගිලුනා.

Tuesday, September 4, 2012

My dog barks and growls: "Does Dialog sell our phone numbers to politicians?"

I just received a phone call from the number 011 454 3301. It was a pre-recorded election campaign message from a UNP parliamentarian. The message was very short and abrupt. He wanted me to vote for a candidate who's contesting the upcoming provincial council election. And he stopped without even saying goodbye. (It's not that I will be happy to see him spending more time saying hello dear, thank you and ta-ta bye bye.)

We know this is not a new thing. It was a known fact that the president could obtain our phone numbers at will and send various kinds of text and voice messages to his beloved citizens. We are fortunate to receive his new year greetings and all; no need to mention the occasional request to vote for his party which was a delight to receive.

Now this has spread beyond the privileges of the president. How does a UNP parliamentarian get hold of my number (and location) unless the mobile company decides to disclose the details? It can be a good business opportunity during the election times to manage these campaigns. I have no inside knowledge of these companies to know whether this is already in their business agenda. But Dialog (my service provider) should seriously consider doing this out in the open. They can undertake carrying out sms and voice message campaigns for politicians. Spam us officially!

But of course, this business plan should not apply when it involves the president or his party. He is the state; and we (in this context we means he) should exercise those presidential immunity-loyality-sincerity-impunity things to the fullest extent. He should be given free and unlimited access to all the numbers that are connected to his citizens. (this include phone numbers, credit card numbers, bra size numbers and any system that can be understood or accessed through numbers)

And the rest of us - ordinary citizens - should always ask and depend on the generosity of the owners of the numbers.

Monday, September 3, 2012

පියසීලී විජේගුනසිංහ "නිවැරදි කර ලඟට ගැනීම"

ප්‍රවීන මාක්ස්වාදී කලා විචාරිකා පියසීලී විජේගුනසිංහ අභාවප්‍රාප්ත වී දැන් වසර දෙකක් වෙනවා. විචාරිකාවක වසයෙන් ඇගේ භූමිකාව අගයන්නත් ලිපි ලියන්නත් සැලකිය යුතු සෙනගක් පෝලිමේ පැමිනි අතර ඈ පිලිබඳ අනුස්මරන ලිපි සංග්‍රහයක් ද පසුගිය වසරේ පල වුනා: මනෝ ප්‍රනාන්දු සංස්කරනය කල පියසීලී විජේගුනසිංහ සමාචාර. අද (2012 සැප්තැම්බර් 3) තවත් පොතක් දොරට වඩිනවා. එය ඇගේ සාහිත්‍ය විචාර ලිපි එකතුවක්; සංස්කරනය කොලඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය.

මේ දක්වා මට දකින්න ලැබුනු ශෝකජනක සිද්ධියක් වුනේ ඇගේ ලිපි මරනාපර ව පල කිරීමේ වගකීමට උර දී සිටින උදවිය පියසීලී අනුදත් අක්ශර වින්‍යාසය විකෘත කොට තම මට්ටමට කපාගැනීම යි. සමහර විට ඇගේ භාශාව කෙලින් ම භාරගැනීම මේ වැදගත් සංස්කාරක මහත්වරුන්ට "මදි පුංචිකමක්" වෙන්න ඇති. ඒ නිසා දෝ නැති මූර්ධජ බලෙන් රුවා පියසීලී විජේගුනසිංහගේ ලිපි විනාස කරන්න පටන් අරගෙන තියෙනවා. අර සමාචාර කෘතිය තුල එන පියසීලීගේ සියලු ලියවිලි "වැදගත්" මහත්වරුන්ගේ "වැදගත්" වියාකරන මට්ටමට "අප්ග්‍රේඩ්" කරනුව දරා තිබෙන ප්‍රයත්නය කෙලවර වී ඇත්තේ එලොවටත් නැති මෙලොවටත් නැති ණ - න - ළ - ල කලවමකින්. හැබැයි ඒ පොතේ ම පල වී තිබෙන දර්ශන මේදිස්ගේ ලිපිවල අක්ශර වින්‍යාසය "ලියුම්කරුගේ අභිමතය පරිදි" තියන්න සංස්කාරකවරයා සැලකිලිමත් වෙලා තියෙනවා!

පියසීලී විජේගුනසිංහ ජීවිත කාලයක් පුරා පරිශ්‍රම දරා වර්ධනය කරගත්, සවිඤ්ඤානික ව ලියූ, අනුදත් භාශා විලාසය සහ වියරනය පසෙක දමා අපට ඇගේ ලිපි කියවිය හැකි ද? ජීවත්ව සිටි සමයේ ඇය සතුරු සේනා අබිමුව තනි ව සටන් වදිද්දී අහල ගම් හතක නොසිටි, එහෙත් මරනින් පසු ඇගේ භූමිකාවේ වැදගත්කම මතක් වී ඇති සමහර අතිරැඩිකල් මහතුන්ට අනුව නම් අන් සියල්ලට පලමු ඇගේ "දේශපාලනය" වැදගත්. ඒත් ඒක කිසිම අන්තර්ගතයක් නැති පුස් වෙඩිල්ලක් වගේ කතාවක්. ඔය අක්ශර  වින්‍යාසයෙන් පිලිබිඹු වුනේ දේශපාලනය මිස වෙන කුමක් ද?!

කොලඹ විශ්ව විද්‍යාලයේ අලුත් ලිපි සංග්‍රහය තව ම මා දැක නැහැ. එහෙත් දැනට මත් කොලඹ විශ්ව විද්‍යාලයීය වෙබ් අඩෙවිය දිවි හිමියෙන් ස්ත්‍රීවාදයට එරෙහි ව සටන් වැදුනු, විචාර ලිපි ලියූ මේ ලේඛිකාව ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා තිබෙනු දකින්න පුලුවන්. මෙවැනි වාතාවරනයක් තුල "නිවැරදි කොට වැදගත් කිරීමේ" මේනියාවෙන් මේ පොත මිදී තිබේවා යනු මගේ පැතුම යි.

Sunday, September 2, 2012

බිඳුනු බැඳුම්

මේ බ්ලොග් අඩෙවියේ පැරනි ලිපිවල තියෙන ඇතැම් සබැඳි (links) කල් ඉකුත් වී බිඳී ගිහින් බව පේනවා. එයින් ඇතැම් ඒවා දැනටත් ඉතා ම ප්‍රයෝජනවත්. සබැඳුම් පල කර කලක් ගත වූ විට ඒ ඒ වෙබ් පිටු එක්කෝ වෙනත් ලිපින කරා ගෙන යාම නිසාත් නැත්නම් සම්පූර්නයෙන් අන්තර්ජාලයෙන් චුත වීම නිසාත් මේ තත්වය හටගන්නවා. සමහර පුවත්පත් පවා සිය ලිපිලේඛනවල ලිපින නිශ්චිත ව තබාගැනීම ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නෑ. ලක්බිම පත්තරේ වෙබ් අඩෙවියේ නම් ලිපියක් තියෙන්නේ දින කීපයක් විතරයි. ඉන් පසු සියල්ල ආපහු බිමට බා ඊලඟ සතියේ පත්තරේ උඩට එවනවා. අර ලිපිවලට සබැඳි පල අයට අතරමං වෙන්න සිද්ධ වෙනවා. මේ ක්‍රමයට පත්තර පල කිරීම "හොඳ බවට" කර්තෘ මන්ඩලවලට සහ පරිපාලකයින්ට ලනු ගිල්ලන වෙබ් සංවර්ධක විශාරදවරුන්ගෙන් හිගයක් නෑ.

ඒ අතර පිකාසා වෙබ් ඇල්බම වැනි ගූගල් සේවාවනුත් මේ විදිහේ URI මාරුවක් සිදු කර ඇති බවට සඳහනක් දකින්න ලැබෙනවා! මේ තත්වය මගේ පින්තූර ඇල්බමවලට එන අයට බලපාන්නේ කෙසේ ද යන්න ගැන මට තව ම වැටහීමක් නැහැ.

මඳ කලක් නොකඩවා අන්තර්ජාලයට සම්බන්ධිත ව තිබුනු වෙබ් පිටු නම් archive.org අඩෙවියේ ලේඛනාගාර තුලින් හොයාගන්න පුලුවන්. ඇත්තට ම යම් සබැඳුමක් කල් ඉකුත් වූ විට ඉබේ ම ඒ සබැඳුමට අදාල වෙබ් පිටුවේ archive.org පිටපත කරා ඉබේ යොමු කෙරෙන ක්‍රමයක් (forwarding method) තියෙනවා නම් මොන තරම් ලේසි ද? මේ විදිහේ දෙයක් ක්‍රියාත්මක කරන්න හැකි නම් අපේ අන්තර්ජාල පරිසරයට උදව්වක්. හැබැයි අනිත් අතට එවැනි "පාර හරවා යැවීමක්" අදාල සබැඳිය ක්ලික් කරන පරිශීලකයාගේ තේරීමට පිට මඟක ඔහු/ඇය රැගෙන යාමක් නිසා එහි ආචාර ධාර්මික ගැටලුවක් තිබේ ද යන්නත් ප්‍රශ්නයක්. කොහොම වුනත් මේවා නැවත නැවත අතින් හදන්න වීම නම් මහා හිසරදයක්.

ඔය කාරනය සම්බන්ධයෙන් හිතද්දී හමු වුනු හොඳ ලිපියක් මෙතන තියෙනවා: Cool URIs don't change

.

Saturday, September 1, 2012

ක්‍රියේටිව් කොමන්ස්: කොහෙ තියෙන සංගීතයද්ද ඒ?

මීට පෙර ලිපියේ සාකච්ඡා වුන සංගීතය සහ ඡායාරූප කලාව "බල්ලාට යාම" පිලිබඳ ප්‍රශ්නය හා සම්බන්ධ යි.

දුරාතීතයේ පටන් කලා නිර්මාන විතරක් නෙමෙයි සමස්තයක් වසයෙන් පතපොත ලිවීම සම්බන්ධ කටයුතු සියල්ල ම සිදු වුනේ "කොපිරයිට්ස්" හෙවත් "ප්‍රතිරූපන අයිතිය" සහ "බුද්ධිමය දේපොල" පිලිබඳ සම්මුතීන්ගෙන් හා නීතිවලින් සමන්විත ලෝකයක නෙමේ. එවැනි සංකල්ප වර්ධනය වී නීතිගත වී තහවුරු වුනේ ඉතා මෑතක. අදහස්, නිර්මාන නැවත නැවත එහාමෙහා කරමින්, "නයට ගනිමින්", නැවත නැවත සංකලනය කරන්න තිබුනු නිදහස නිසා ලෝකය වඩාත් සුන්දර තැනක් බවට පත් වුනා. මුලින් කිසියම් තැනැත්තකු අතින් නිර්මානය වුනු කවි පදයක් තවදුරටත් කොටස් එකතු වීමෙන්, තවතවත් ගායනා කිරීමෙන් පසු පිරිපහදු වී ඇතැම් විට ග්‍රන්ථගත වී පරම්පරාවෙන් පරම්පරාවට පැමිනියා. ඇතැම් විටෙක අලුත් කවියක් පබැඳීමේ දී එතෙක් තහවුරු වී තිබුනු සුප්‍රකට වෙනත් නිර්මානයක් වෙත හැරී එයින් ආලෝකයක් ගැනීම සාමාන්‍ය දෙයක් වුනා. කවියට විතරක් නෙමෙයි සංගීතය, චිත්‍රය ඇතුලු සියලු ම කලාවන්ටත් අනෙකුත් ශාස්ත්‍රවලටත් පොදු ලක්ශනයක් මේක.

අද තනි කර්තෘවරුන්ගේ කෘති හැටියට ලිහිල් ව සැලකෙන බොහෝ පැරනි සම්භාව්‍ය සාහිත්‍ය පතපොත එවැනි සංකීර්න ක්‍රියාදාමයක ප්‍රතිඵල බව පේනවා. මේක තමයි අපේ සංස්කෘතිය වර්ධනය වුනු, පෙරට ගමන් කල ක්‍රමය. (අපේ සංස්කෘතිය කිව්වේ මිනිසාගේ සංස්කෘතිය.) ඒ අතර ක්‍රමික ව ගොඩනැඟුනු නිර්මාපකයාගේ පෞරුශය, ප්‍රතිභාව පිලිබඳ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම, ආත්ම ප්‍රකාශනය පිලිබඳ සංකල්පය යනාදිය මේ සංස්කෘතික උරුමයන් භුක්ති විඳීමේ ක්‍රියාවට තවත් රසවත් මානයන් එකතු කලා. ඉතින් මේක බහුවිධ මුහුනවරින් යුත් සංකීර්න ක්‍රියාවලියක් බව ඇත්ත. ඒ පැති හැකිතාක් සමබර ව අපේ වර්තමාන සංස්කෘතික ජීවිතය තුලට රැගෙන එන්නේ කොහොම ද?

පහුගිය අවුරුද්දේ අග අපේ අභිවාහ්‍ය/ප්‍රසංග කලා සාමූහිකය අලුතින් නිර්මානයකට අතගසා සිටි සමයේ පැන නැඟුනු ප්‍රශ්නයක් වුනේ ඒ සඳහා සංගීතය නිපදවාගන්නේ කෙසේ ද යන්න යි. මේ කන්ඩායම තුල සංගීතය සම්බන්ධයෙන් ඉතා ම හසල දැනුමක් සහ අත්දැකීම් තියෙන අය හිටියත්, අපේ අත පොවන මානයේ ඇතිපදම් සංගීත භාන්ඩ තිබුනත් සාකච්ඡාව ආරම්භ වුනේ බොහොම කම්මැලි තැනකින්: "මගේ ලඟ හොඳ කලෙක්ශන් එකක් තියෙනවා. වැඩේ කරගෙන යද්දී ඒකෙන් අපි තෝරගමු" කෙනෙක් කිව්වා. "ඒවා ඔයා හදපුවද?" මම ඇහුවේ අනවසරයෙන් අනුන්ගේ සංගීත ඛන්ඩ යොදාගැනීම ගැන අකමැත්ත නිසයි. ඒවා ඔහු නිර්මානය කල සංගීත රචනා නෙමේ. අන්තර්ජාලයෙන් බාගත් විවිධ සංගීතඥයන්ට අයිති කෘති. ඒත් මේක අලුත් නිර්මානයක් සඳහා ගත හැකි අර්ථවත් මඟක් නොවන බව මගේ අදහස වුනා. අනිත් අතට අපේ නිර්මානය ජාත්‍යන්තර ප්‍රේක්ශක පර්ශදයක් අබියස පෙන්වන්නත් නියමිත ව තිබුනා. "අපි එක්කෝ අලුතින් සංගීතයක් නිර්මානය කරගත යුතු යි. එහෙමත් නැත්නම් මෙවැනි අවස්ථාවක භාවිතය සඳහා අවසර දී තිබෙන සංගීත ඛන්ඩ සොයාගත යුතු යි. නිකම් කොහේ හරි තියෙන සංගීතයක් අනවසරයෙන් අරගෙන නිර්නාමික ව යොදාගැනීම කියන්නේ ප්‍රසංග කලා නිර්මාන ක්‍රියාවලියේ කොටසක් හැටියට සංගීතයට වැදගත් භූමිකාවක් තියෙන බව අමතක කිරීමක්" මම කිව්වා. "අනික අර පිටරටවල මිනිස්සු මේ සංගීතය වෙන තැන්වල අහල තිබුනොත් අපිට හිනාවෙයි, පෆෝමන්ස් කියල අනුන්ගෙ සංගීතය කිසිම අගක් මුලක් අවසරයක් නැතුව දාල නටනව කියල."

"කලින් අවසර දීපුවා? එහෙම ඒවා තියෙනවද?" ප්‍රශ්නයක් පැන නැඟුනා.

"ඇයි? ක්‍රියේටිව් කොමන්ස් බලපත්‍ර යටතේ පල කරපු සංගීත ඛන්ඩ ඕන තරම් තියෙනවනෙ? ඒවා එක එක විදිහේ භාවිතයන්ට කල් තියා අවසරය ලියා දෙමින් පල කරපුවා."

ඒත් ඒ ගැන ඒ වන විට කිසි කෙනෙක් හරිහැටි දැනගෙන හිටි බවක් පෙනුනෙ නෑ. ක්‍රියේටිව් කොමන්ස් කියන නම අහලා තිබුනු අයත් හිටියේ ඒ ගැන සැකයෙන්: "ඒත් ඒවගේ හොඳ මියුසික් නෑ නේද? කවුරුවත් එහෙම නිකන් සංගීතය ප්‍රසිද්ද කරාවි ද? නියම ප්‍රොෆෙශනල්ස්ලා එහෙම නිකං මියුසික් රිලීස් කරන්නෙ නෑ." එක්කෙනෙක්ගෙන් "වැදගත්" ස්වරයේ පැහැදිලි කිරීමක්. වාදය දිගට ඇදිලා ගියා.

"ඒ වුනාට මේ වගේ වැඩවලට ඔහොම ඒව අරන් බෑ. ගොඩක් සංකීර්න විදිහට ලේයර්ස් ඇතිව හදපු කම්පොසිශන් ගන්න ඕන." තවත් බරපතල තර්කයක්. "මේව නිකන් ටියුන් එකක් දාගෙන කරාම වැඩක් නෑ නෙ? අපට ඕන හොඳ බරපතල මියුසික්!"

"පුලුවන් නම් මේකට සංගීතයක් හොයල දෙන්න බලන්න, ඔය කියන ක්‍රියේටිව් කොමන්ස් මියුසික් වලින්".... ඔන්න අභියෝගයක්.

මට ඒ අභියෝගයට හරියන විදිහට ප්‍රතිචාරයක් දෙන්න බැරි වුනා. මොකද මම කලින් ඒ ගැන හිතලා තිබුනෙ නැති නිසා: මා සතු ව කලින් බාගෙන විධිමත් ව සංවිධානය කරගත් ක්‍රියේටිව් කොමන්ස් සංගීත එකතුවක් තිබුනෙත් නෑ, අන්තර්ජාලයේ එවැනි වෙබ් අඩෙවිවල තියෙන සංගීතය ප්‍රමානවත් තරමින් මං අහලා තිබුනෙත් නෑ. ඒ නිසා දවසින් දෙනෙක් මේවා සොයාදෙන්න හැකියාවක් මට තිබුනේ නෑ. ඒ විතරක් නෙමෙයි ක්‍රියේටිව් කොමන්ස් යනු කුමක් ද, එහි පලප්‍රයෝජන මොනවා ද යන්න පවා අර්ථවත් අන්දමින් පැහැදිලි කරන්න මට බැරි වුනා. ක්‍රියේටිව් කොමන්ස් බලපත් සහිත ව හොඳ සංගීත නිර්මාන තියෙන්න බැරි ය යන අදහස අපේ අවකාශය තුල තාවකාලික ව ජයගත්තා. ඒත් - වාසනාවකට - අනුන්ගේ සංගීත ඛන්ඩ අනවසරයෙන් යොදාගනු වෙනුවට අපේ ම සංගීතය නිපදවන්න හැමෝම එකඟත්වයකට ආවා. එයින් නිර්මානයට බෙහෙවින් අර්ථවත් හා රසවත් අංශයක් එකතු වූ බව පසුව පෙනීගියා.

එයින් තවත් කාලයකට පස්සේ මිතුරන් දෙදෙනෙක් එක් ව නිර්මානය කල වාර්තා චිත්‍රපටියකට සංගීතය සැපයීමේ දී මේ හා සමාන ප්‍රශ්නයක් පැන නැංගා. ඒ වැඩේට සංගීතඥයෙක් හිටියෙ නෑ. මේ මිතුරන් දෙන්නා ඒ වන විට ක්‍රියේටිව් කොමන්ස් බලපත් ගැනත් ඒ යටතේ බෙදා හරින සංගීතය ගැනත් ප්‍රමානවත් අන්දමින් දැනුවත් ව හිටියත් ඒවා කල් තබා සොයාගෙන නොතිබීම නිසා ප්‍රශ්නයකට මුහුන දුන්නා. ඔවුන් සතු ව ඕනෑ තරම් සංගීත තැටි තියෙනවා. ඒත් ඒ සියල්ල සියලු හිමිකම් ඇවුරුනු ලේබල යටතේ නිකුත් කරපු වානිජ නිශ්පාදන. මීට පෙර ඔවුන් කල නිර්මාන සඳහා දෙවරක් නොසිතා එවැනි හිමිකරු ඇවුරුනු සංගීත රචනා යොදාගන්න ඔවුන් පෙලඹිලා තිබුනා. ඒත් ඒවා පුලුල් ප්‍රේක්ශක පර්ශදයක් වෙත ගෙන යාමට ඒක බාධකයක්. අඩු තරමේ යූටියුබ් මත පවා එම කෘති පල කරන්න හැකියාවක් නැහැ. මේ වන විට ක්‍රියේටිව් කොමන්ස් භාවිතය ගැන ප්‍රමානවත් කතාබහක් අපේ මිත්‍ර සමාගම් තුල සිදු වී තිබුනු නිසා උත්සුකය තිබුනේ එවැනි නිදහස් සංගීතයක් සොයාගන්න යි. මම ඉක්මනින් මේ සබැඳි දෙක ඔවුන්ට ඊමේල් කලා:

Music communities
http://creativecommons.org/music-communities

Legal music for videos
http://creativecommons.org/legalmusicforvideos


අවසානයේ Jamendo අඩෙවියෙන් වැඩේට සරිලන සංගීත ඛන්ඩ හොයාගන්න පුලුවන් වුනු බව දැනගන්න ලැබුනා. ඒ වුනත් අදාල බලපතට අවනත ව නිර්මාපකයාගේ විස්තර සඳහන් කල යුතු බව මගේ මිතුරන් දෙපල දැනගෙන හිටියේ නෑ. මේ නිර්මාන නිකම්ම රැගෙන සිය කෘතිය තුලට බහා ලිය හැකි බවට පූර්ව නිගමනයක මගේ මිතුරන් හිටිය බව පෙනී ගියා. චිත්‍රපටියේ නාමාවලියේ අදාල බලපත්‍රය පිලිබඳ වත් සංගීතඥයා පිලිබඳවත් සඳහන් කල යුතු අන්දම ඔවුන් පරීක්ශා කර තිබුනේ නෑ.

ඉතින් මේ කතාබහ මැද ක්‍රියේටිව් කොමන්ස් සම්බන්ධ ප්‍රශ්නය ගැන පිලිවෙලකට සටහනක් තියන්න අවශ්‍ය බව එදා මට කල්පනා වුනා. ඒ වගේ ම මේ සටහන් උපයෝගී කරගනිමින් ක්‍රියේටිව් කොමන්ස් සරල ව හඳුන්වා දෙන වීඩියෝ කීපයක් සිංහල බසින් නිපදවන්න අදහසක් ද පහල වුනා. ඒක ඉශ්ට කරගන්න ඉඩක් ලැබුනේ දැන්. මේ ලියැවෙන සටහන් බොහොම අවිධිමත්: අර වචන 750 ලිවිල්ල ඇතුලට හලන "brain dumps" කියලා කියන්න පුලුවන්. ඒත් ඒවා යොදාගෙන වඩා පිලිවෙලකින් යුත් සටහනක් හදාගන්නත්, එයින් වීඩියෝව සඳහා පිටපතක් නිර්මානය කරගන්නත් මම අදහස් කරනවා. දැනට වෙනත් රටවල භාවිත වන වීඩියෝවක් පරිවර්තනය නොකර මෙහෙම කරන්න අදහස් කලේ සිංහල බසින් වැඩ කරන අයට සමීප නිදසුන් ආදිය සමග වඩා අර්ථවත් විදියට මේක මුසු කරන්න ඕනෑ නිසා. එවැනි මූලාශ්‍ර තිබුනොත් අවශ්‍ය වෙලාවට දැනුවත් කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

  • ප්‍රතිරූපන අයිතිය යනු කුමක් ද?
  • ක්‍රියේටිව් කොමන්ස් යනු කුමක් ද?
  • ඉහත දෙක අතර වෙනස්කම් මොනවා ද?
  • දැනට තිබෙන ක්‍රියේටිව් කොමන්ස් බලපත් මොනවා ද?
  • මේ හා සමාන වෙනත් බලපත්‍ර තිබේ ද?
  • ඒවායේ ප්‍රයෝජන මොනවා ද? 
  • එවැනි බලපත් භාවිත කිරීමේ දී අනුගමනය කල යුතු පියවර
  • ඒ ඒ බලපත් අපට අර්ථවත් ආකාරයෙන් යොදාගත හැකි තැන් මොනවා ද?
  • ක්‍රියේටිව් කොමන්ස් බලපත් යටතේ නිකුත් කල කෘති පහසුවෙන් සොයාගත හැකි ස්ථාන මොනවා ද?

මේ වගේ පැති එහි දී සාකච්ඡා කිරීම උචිත බව හිතෙනවා.

...